රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පරිපාලනය වන රජයේ බංගලා, නිවාස, විසුම්පාය සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ජනාධිපති මන්දිර භාවිතය සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (10) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනාකිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම බංගලා නිවාස හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කිරීම සිදු කර තිබෙන ඒවායි.
මේ අතර ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා තිබෙනවා.
නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැති බවත් එම තත්ත්වය සලකා අදාළ තීරණය ගන්නා බවයි.