අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා පවසයි.

අජිත්. පී. පෙරේරා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් කරනු ලැබීය.

මේ අතර බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමටද විපක්ෂය පසුගියදා පියවර ගත්තේය.

අප්‍රේල් 10 වනදා ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර ඒ අනුව පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එවක බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »