අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) දින විවාදයට ගැනීමට නියමිතය.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගිය 21 වනදා භාරදී තිබුණි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් ය.
ඒ අනුව අද දින උදෑසන 9.30 සිට 10 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.
පෙරවරු 10 සිට 11 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙරවරු 11 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන් වේ.
ඉන් අනතුරුව උදෑසන 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබුණි.
ඒ අනුව අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතය.

