අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක පවසනවා.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ පිරිසක් සමග වැලිගම නගරයෙන් පිට ස්ථානයක නවතා තැබීමේ සිදුවීමකට අදාළව කෙරෙන මුලික පරික්ෂණයට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
එම සිදුවීම පසුගිය 16 වනදා පස්වරුවේ සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම බන්ධනාගාර බස් රථය රැඳවියෙකු සමග වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා තිබෙනවා.
අනතුරුව බස් රථයේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් රැඳවියා බස් රථයේ තබා වැලිගම නගරයේ වෙළෙඳසැල් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයත් අනතුරුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් ඇති බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්ථා වූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී මෙම බස් රථය අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් බවත් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු කරාපිටිය රෝහලේ සායනයක් වෙත රැගෙන ගොස් නැවත එමින් සිටින අවස්ථාවේදි එම බස් රථය නතර කොට තිබී ඇති බවට අනාවරණයවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මෙම බස් රථයේ සිටි දරුවා සහ කාන්තාව බස් රථය තුළ සිටි රැඳවියාගේ පවුලේ උදවිය බවට තොරතුරු ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.
එම පවුලේ උදවිය බස් රථයට නංවා ගැනීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගර නිලධාරින් බස් රථයෙන් බැස ගියාද යන්න හා කාන්තාව හා දරුවන් බස් රථයට නංවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද ඔහු පවසනවා.
මේ අතර CCTV දර්ශන සහ බුද්ධි නිලධාරින් හරහා විමර්ශන සිදුකරමින් පවතින බවයි බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

