NEWS

ආහාර බඳුනක මත්ද්‍රව්‍ය රැගෙන ගිය තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙසේ දඬුවම් නියම වී ඇත්තේ, විසි හය හැවිරිදි අවිවාහක තරුණයකුවන දේව රාජා ලෝරන්ස් නමැත්තායි.

2019 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙකුට ආහාර රැගෙන ගිය බඳුනේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

ඒ අනුව, ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »