කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඊයේ (20) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
එසේ දින නියමයකින් තොරව වසා දමා ඇත්තේ, නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම සහ වසර කිහිපයක් පුරා ලාභ නොලැබීම නිසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවත්වාගෙන ගිය නෙක්ස්ට් නමැති මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමන අවස්ථාව වන විට එහි සේවක සේවිකාවන් 2000ක් පමණ සේවය කරමින් සිට තිබෙනවා.
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර, එහි නිෂ්පාදිත ඇඟලුම්, ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බවයි එහි සේවකයන් පවසන්නේ.
මෙරට පවතින නිෂ්පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි වීම නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බවයි පාලනාධිකාරිය විසින් සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සඳහන් කර ඇත්තේ.
එසේ වුවද එහි සඳහන් වෙන්නේ කටුනායක පිහිටි මෙම ආයතනය වසා දැමුවද එහි අනෙකුත් ආයතනවන ආණ්ඩිගම හා නවගත්තේගම ආයතනවල නිෂ්පාදන මෙහෙයුම් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි.
ආයතනය වසා දැමීමත් සමග රැකියාව අහිමි වීමට ලක්වන සේවකයන්ට නීතියෙන් හිමිවන වෙනත් අයිතිවාසිකම්වලට අමතරව, අවම වශයෙන් මාස දෙකක වැටුපක් ගෙවනු ලබන අතර, සේවය කර ඇති වසර ගණන අනුව වන්දි ගෙවන ආකාරය සම්බන්ධයෙන්ද එම ලිපියේ සඳහන්.
ඊට අමතරව රැකියාවෙන් ඉවත් වන සේවකයන්ට මාසය අවසන් වන තෙක් පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර මේ මාසයේ වැටුප සාමාන්‍ය පරිදි නියමිත දිනයේදී ගෙවීමටද එම පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
තවද, ඔවුන්ගේ සියලුම හිඟ නිවාඩු වැටුප්, සියලුම පාරිතෝෂික ගෙවීම සහ අදාළ පුද්ගලයන්ට සියලුම නිෂ්පාදන සහ පැමිණීමේ ප්‍රසාද දීමනා ආදිය ගෙවන බවයි එම ආයතනය සඳහන් කර ඇත්තේ.
මේ අතර, මේ වන විට කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර, ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳී සිටින බවත්, කර්මාන්තශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරිවරයකු නොමැති බවත්, සඳහන්.

