ඉකුත් ජුලි 19 වැනිදා දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ මුරකරුට වෙඩිතැබීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ තැනැත්තා දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවය.
දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමිය වන නිසල සෙවන පරිශ්‍රයේදී ජුලි 19 වැනිදා පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබුණේ සුසාන භූමියේ මුරකරු වශයෙන් කටයුතු කරන සුමිත් රූපසේන නමැත්තා ඉලක්ක කරගනිමින්ය.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන සිදුකළ වෙඩිතැබීමෙන් මුරකරුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.
56 හැවිරිදි ඔහු දෙහිවල ධීවර නිවාස ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ඔහුගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බව පොලිසිය පැවසුවේය.
මුරකරුට වෙඩි තැබූ වෙඩික්කරු , ස්කූටර් වර්ගයේ යතුරු පැදියක නැගී පැදිකරු සමඟ පලා යන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඒ අනුව වෙඩි තැබීමෙන් සතියකට පසු මෙම සිද්ධියේ යතුරු පැදියේ පැදිකරු ඊයේ උදෑසන දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමත් වුණි.
අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි එම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 200ක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ නිසල සෙවන සුසාන භූමියේ මුරකරුට වෙඩිතැබීම සිද්ධිය මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවය.
අපරාධය සිදුකිරීම වෙනුවෙන් ඔහුට ලැබුණු රුපියල් ලක්ෂ 2ක මුදලින් රුපියල් 55,000ක් සමඟ සැකකරු භාවිත කළ ජංගම දුරකථන 3ක්ද මෙහිදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදුකරයි.

