දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු බිම් රැසකට හානි සිදුව තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ වගාකළ බිම් රැසක් ජල ගැලීම්වලට ලක් වුණේ, අම්පාර ජලාශය සහ කොණ්ඩවටුවාන ජලාශය පිටාර ගැලීම හේතුවෙන්.
අම්පාර ගල්ඔය ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 35,000ක් පමණ මෙවර වගා කළ අතර, එම කුඹුරු බිම් රැසකටද ජල ගැලීම්වලින් හානි සිදුවුණා.
අප වාර්තාකරුවන් පැවසුවේ මාකණ්ඩිය, හිමිදුරාව වැනි ජලාශ පිටාර ගැලීම සහ අධික වර්ෂාව හේතුවෙන් මෙම වගා හානි සිදුව ඇති බවයි.
මේ අතර, මහවැලි සී කලාපයේ කුඹුරු බිම් රැසක් ද මෙවර ජල ගැලීම් හේතුවෙන් හානියට ලක්ව තිබෙනවා.
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සහ කුඩා ඔය පිටාර ගැලීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ප්‍රදේශයේ කුඹුරු බිම් වෙත මෙලෙස වැලි ගොඩ ගසා තිබුණා.
ගොවීන් පවසන්නේ ඇතැම් ස්ථානවල අඩි තුනක් පමණ වැලි පිරී ඇති බවයි.
මෙම ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් 30කට අධික ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදි වගා කර තිබු අතර, අප වාර්තාකරු පැවසුවේ ඒ අතරින් කුඹුරු හෙක්ටයාර් 20කට පමණ හානි සිදුව තිබු බවයි.
අලුතින් වගාකළ බිත්තර වී ජල ගැලීම් හේතුවෙන් ගසාගෙන ගොස් ඇති අයුරුද දක්නට ලැබුණා.
අධික වර්ෂාවත් සමඟ අනුරාධපුර බුලංකුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙසීයකට අධික ප්‍රමාණයක් ද ජල ගැලීම්වලට ලක් වුණා.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ දිවයින පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට කුඹුරු අක්කර 4800කට අධික ප්‍රමාණයක් පූර්ණ හානියට ලක්ව ඇති බවට ගණන් බලා ඇති බවයි.
එමෙන්ම, තවත් කුඹුරු අක්කර 3900කට අධික ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
වගා හානි සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටින බවත්, වගා හානි සිදුවු ගොවීන්ට ඉදිරියේදී සහන සැලසීමට පියවර ගන්නා බවත්, ඔහු පැවසුවා.
මේ අතර, දිවයින පුරා පිහිටි කුඩා වැව් 106ක්ද අධික වර්ෂාවත් සමඟ කැඩී ගොස් තිබෙනවා.
වවුනියාව නෙදුන්කුලම වැව් බැම්මද අධික වර්ෂාවත් සමඟ කැඩී ගොස් තිබුණා.
අප වාර්තාකරු පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කයේ කුඩා වැව් 30ක බැමි කැඩී ගොස් ඇති බවට වාර්තාවන බවයි.
මේ අතර, පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ධීවරයින්ද අද සිය ධීවර කටයුතුවලින් ඉවත්ව සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ධීවරයින්ට දැනුම් දුන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් ධීවර කටයුතුවලින් ඉවත්ව සිටින ලෙසයි