NEWS

ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට අධි චෝදනා – පසුව ඇප දෙයි

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.

ඒ අනුව ඔහුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පසුගිය 05 වැනිදා නීතිපතිවරයා කටයුතු කළා.

නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය විසින් එදින සිතාසි නිකුත් කළේ අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුවයි නඩුවට අදාළව නාමල් රාජපක්ෂට අධි චෝදනා පත්‍ර භාරදීම අද සිදුවුණේ.

මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ පැවසුවේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබෙන බවයි.

ඒ අතුරින් සාක්ෂිකරුවන් පස් දෙනෙකුම රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයින් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ තමන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයෙන් අනතුරුව සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවයි.

අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඊට අමතරව ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

මෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙසයි එහිදී නියෝග කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »