සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට ඇල්ලූ වෙඩික්කරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ රාත්‍රියේ රැගෙනවිත් භාර දී තිබෙනවා.
එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක රැදවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මුහුදු මාර්ගයෙන් පලා යෑමට සැළසුම් කර තිබියදී පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගනේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු පිළිබදව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඔහු විවිධ නම්වලින් පෙනී සිට ඇති බවත්, ඒ සදහා හැදුනුම්පත් කිහිපයක් ද භාවිතා කර ඇති බවත් දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
34 හැවිරිදි සැකකරු කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකු බවයි ඔහු ඊයේ පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.
එමෙන්ම, මෙම පුද්ගලයා පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට ද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මීට අමතරව ඝාතනය සදහා යොදාගත් ගිනි අවිය අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට රැගෙනවිත් ඇත්තේ නීතිඥවරියක ලෙස සැරසුණු කාන්තාවක වන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක බවට තොරතුරු ලැබී තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇය ඉෂාරා සෙව්වන්දි නැමැත්තියක්.
නීතීඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි මෙම වෙඩික්කකරු විසින් අලූත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලදී ගනේමුල්ල සංජීවට වෙඩි තබා පළා ගොස් තිබුණා.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය ද අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසල වැටී තිබියදී සොයා ගැනුණා.
එම ගිනි අවිය සැකකාර කාන්තාව විසින් රැගෙන විත් ඇත්තේ නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු ගිනි අවියක හැඩයට කපා ඉවත් කර ඒ තුළ බහා සූක්ෂම ලෙස සගවා බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
කැලණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ නඩු කටයුත්තක් සඳහා ගනේමුල්ලේ සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ උදෑසන රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 9 වැනි මැදිරියේ ගනේමුල්ලේ සංජීවට අදාළ නඩුව කැඳවීමට නියමිතව තිබුණත් එහි විනිසුරුවරයා පැමිණ නොසිටි බැවින් ඔහුව අංක පහ අධිකරණයේ පවතින නඩු 02 ක් සදහා යොමුකිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
අධිකරණයේ කටයුතු සිදුවන අතරතුර විත්ති කූඩුවේ රඳවා සිටි ගනේමුල්ලේ සංජීව අසළට පැමිණි නීතිඥවරයෙකු ලෙස සැරසුනු වෙඩික්කරු, ගනේමුල්ල සංජීවගෙන් යම් කරුණක් විමසන ආකාරයෙන් ඔහුට ළංවී පපු ප්‍රදේශය ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
අනතුරුව සැකකරු සූක්ෂම ලෙස පළාගොස් ඇත්තේ ඇතුළේ වෙඩි තියෙනවා යනුවෙන් අධිකරණ පරිශ්‍රයේ සිටි අනෙක් පුද්ගලයින්ටද ප්‍රකාශ කරමින්.
කෙසේ වෙතත්, ඔහු සහ අදාළ කාන්තාව ඝාතනය සිදු කොට අධිකරණ සංකීර්ණයේ පිවිසුමෙන් පලායන අයුරුද සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබූ අතර, පසුව බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ අනුව, සැකකරුවන් විදෙස් රටකට පලායාමට උත්සහ කරන බවට ලද තොරතුරුවලට අනුව ගුවන්තොටුපලේ ආරක්ෂාවද තර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එමෙන්ම, මුහුදු මාර්ගය ඔස්සේ ද පලා යෑමට සැකකරුවන් උත්සහ කරන බැවින් ඊට අදාලවද විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි වෙඩික්කරු පුත්තලම – පලාවිය ප්‍රදේශයේදී වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යෙදවා විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
මීට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් ද මූලික විමර්ශනයක් සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී දිසානායක සදහන් කළේ.