NEWS

පොලිසිය විසින් මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළට

පොලිසිය විසින් මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යොමු කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

මෙම සේවා ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 2023.06.02 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2749 / 2023 (මුදල් චක්‍රලේඛ 04/ 2023) අවලංගුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

එම චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු එක දිනක් සඳහා මින් පෙර රුපියල් තුන්සියක් අය කළත් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග එම ගාස්තුව රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම පොලිස් නිල සුනඛයෙක් සඳහා පැය එකහමාරක කාලයකට යටත්ව හා රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව සහ පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිගේ අනුමැතියට යටත්ව මින් පෙර අය කළ රුපියල් තුන්දහසක මුදල රුපියල් විසිදහසක් දක්වා ඉහළ දමා තිබෙනවා.

තවද, අශ්වයෙක් සඳහා පැය එකමාරක කාලයකට මින් පෙර රුපියල් හයදහසක මුදලක් අය කළ ද මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු එම මුදල රුපියල් තිස්දහස දක්වායි ඉහළ නංවා තිබෙන්නේ.

ආසන්නම පොලිස් ස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත්කිරීමේ ගාස්තුව රුපියල් හයසීයේ සිට රුපියල් පන්දහස දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර එක් ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අයකළ රුපියල් එකසිය පනහක ගාස්තුව රුපියල් පන්සීය දක්වායි ඉහළ නංවා ඇත්තේ.

කිමිදුම් උපකරණ සඳහා අයකළ රුපියල් දෙදාස් හාරසීයේ ගාස්තුව රුපියල් හාරදහස දක්වා ද ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා අයකළ රුපියල් එක්දහස් දෙසීයක මුදල ද රුපියල් පන්දහස දක්වා ද ඉහළ දමා තිබෙනවා.

මේ අතර මින් පෙර කිසිදු ගාස්තු අයකිරීමක් නොකර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා දැන් රුපියල් තුන්සීයක් අයකරනු ලබනවා.

මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ, පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර, එකී වාහන හා යාත්‍රා පෞද්ගලික භාවිතයේ දී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණවාරයක් ලබාගැනීමට අදාළ පෞද්ගලික පාර්ශ්වයට නියම කළයුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »