NEWS

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතකයින් සොයා CCTV ඔස්සේ විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් හතරක් ඔස්සේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතා පැවසුවේය.

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි. 

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »