පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලීමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කරනවා.
ඊයේ (18) පස්වරු 5ට පමණ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසක්.
පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිව්දෙනා ත්‍රීරෝද රථයෙන් නිවැස් කරා ගමන් කරමින් සිටියදීයි අනතුරට ලක්ව තිබෙන්නේ.
වෑන් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලංගම බස් රථයක ත්‍රිරෝද රථය ගැටීමට ආසන්න වූ විට ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාමත් සමග එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගය හරහා වැටි තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ වැටී සිටි සිසුන් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට ලංගම බස් රථයේ රියදුරා බස් රථයට මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයක සහ ගේට්ටුවක ගැටී බස් රථය නතර වි ඇති බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවත්, ගිනිගත්හේන පොලිසිය පවසනවා.
ත්‍රීරෝද රථය ධාවනය කළ පාසල් සිසුවාට රියදුරු බලපත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතත්, එය මේවන තෙක් පොලිසිය වෙත ඉදිරිපත් කර නොමැති බවත්, පාසල් සිසුවාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය සඳහන් කරනවා.
අනතුරෙන් බස් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.