පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවැසියන්ට පහරදුන් සුරාබදු නිලධාරීන් 9 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් අට දෙනෙක් අද පෙරවරුවේ ගොතටුව පොලිසියට පැමිණ භාර වූ බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් පසුගිය 11 වැනිදා රාත්‍රි 11ට පමණ මාදින්නාගොඩ මොරවිටිය පිහිටි තම නිවසට පැමිණි පුද්ගලයින් 9 දෙනෙක් තමන්ට පහරදුන් බව පවසමින් එම නිවසේ හිමිකරු විසින් ගොතටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් නිවසට ඇතුළු වූ ඔවුන් තම බිරිදට සහ තම සහෝදරියට ද පහරදුන් බවයි.
එම පහරදීමෙන් මාස 11 වයසැති දරුවාටද තුවාල සිදුවු බව ඔවුන් පවසා තිබෙනවා.
එම සැකකරුවන් වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ එම නිවස වෙත පැමිණෙන අයුරු CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.
ජංගම දුරකථනයෙන් ලබා ගත් එම සිද්ධියේ දර්ශන ඔවුන් විසින් මකා දමා තිබුණද එක් දර්ශනයක් මකා දැමීමට ඔවුන්ට නොහැකි වී තිබුණා.
නිවැසියන් පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් නිවසට ඇතුළු වු ඔවුන් තමන්ට පහරදී යළි පිටව යන අවස්ථාවේදී තමන් සුරාබදු නිලධාරීන් බව පැවසු බවයි.
මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් එම වැටලීම සිදුකළ බවත් ඔවුන් පවසා තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් ගොතටුව පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව නිවෙස් හිමිකරුට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් ඉල්ලා ඇත්තේ එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ ගොතටුව පොලිසිය, අදාළ සැකකරුවන්ට කළ දැනුම්දීමකට අනුව පැමිණි පුද්ගලයින්ගෙන් 8 දෙනෙක් පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.
ඔවුන්ගෙන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන් පිටත්කර යැවූ බවත්, සෙසු පස් දෙනා සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවත්, පොලිසිය සඳහන් කළා.