NEWS

සෙව්වන්දිගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරේ

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරිය හා සැකකර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය මෙම දැනුම්දීම සිදුකළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති සහ 23 හැවිරිදි පින්පුර දේවගේ තිවංක වීරසිංහ යන අයයි.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබෙනවා.

මව සහ සහෝදරයා මෙම ඝාතන සිදුවීමෙන් පසු ඔවුන් සිටි නිවස අත්හැර දමා ගොස් තිබුණු අතර, තමන්ට එල්ල වන මරණ තර්ජන හමුවේ නිවස අත්හැර දමා ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සහ මෙම ඝාතනයේ වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු පසුගිය පෙබරවාරි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා දිවුලපිටියේ ලැගුම්හලක රැඳී සිටි අතරවාරයේ මෙම මව සහ සහෝදරයා එම ලැගුම්හලට පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා.

පසුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා වෙඩික්කරු සමග යතුරුපැදියකින් විවිධ ස්ථාන වෙත ගොස් ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »