ජපානයෙන් සොරකම් කරන ලද ප්‍රාඩෝ වර්ගයේ රථවල එන්ජින්, චැසි ඇතුළු අමතර කොටස් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ කූඨ ජාවාරමක තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය මෙම වාහන ජාවාරමට අදාළ වැටලීම කළේ හිරු ප්රවෘත්ති ඔස්සේ ලබා දුන් තොරතුරු මතයි.
ජපානයේදී සොරකම්වලට හසුව වැරදිකරුවන් වී මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් පිරිසක් වාහන ජාවාරමක නිරත වන බවට හිරු ප්රවෘත්ති වෙත පසුගියදා තොරතුරු වාර්තා වුණා.
අදාල තොරතුරු ලබාදුන් පුද්ගලයා ප්‍රකාශ කළේ ජපානයෙන් සොරකම් කරන ලද ඩීසල් වර්ගයේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 8 ක් කැබලි කරගෙන ඒමට සූදානම් කර ඇති බවයි.
අදාළ කන්ටේනරය මෙරටට ළඟාවී ඇති බව හිරු ප්රවෘත්ති කළ සොයාබැලීමකදී හෙළිවුණා.
ඒ අනුව එලෙස ගෙන්වූ වාහන එන්ජින්වලින් කොටසක් ලොරි රථයකින් කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ සිට රඹුක්කන ප්‍රදේශයට රැගෙන යන බවට අප තොරතුරු හෙළි කරගත්තා.
අදාල තොරතුරු වයඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අප ලබාදීමෙන් පසු කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ගැට්ටුවාන ප්‍රදේශයේදී සැකකටයුතු ලොරි රථය නවතා පරීක්ෂා කෙරුණා.
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ රථවල එන්ජින් 06 ක් එහි තිබී පොලිස් භාරයට ගැනුණේ ඒ අනුවයි.
මෙම රථවාහන අමතර කොටස් ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමට අදාල ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට ද සැකකරුවන්ට හැකි වී නැහැ.
මීට අමතරව මෙරටට ආනයනය කරන ලද වාහන චැසි හා අනෙකුත් කොටස් රැසක් ද රඹුක්කන ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ මෙම රථ වාහන අමතර කොටස් ජාවාරම සම්බන්ධයෙන් ඉදිරියේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.

