NEWS

වැලිගම හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් 6ක් අධිකරණයට භාර වෙයි

2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුලු සෙසු සැකකරුවන් 06 දෙනා අධිකරණයට භාර වී තිබෙනවා.

ඔවුන් මෝසමක් මාර්ගයෙන් අද පෙරවරුවේ මෙලෙස අධිකරණයට භාර වී ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් පසුගිය 16 වැනිදා රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබෙනවා.

අභියාචනාධිකරණයේදී ඇති කරගත් එකගතාවය මත මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමටත් නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනය කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »