එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගත්තා.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
මෙහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකාව ගිනිගැනීම හේතුවෙන් බස්නාහිර වෙරළ තීරයට පමණක් නොව දකුණු වෙරළ තීරයටද විශාල හානියක් සිදුවූ බව සඳහන් කළා.
වන්දි ලබාදීමේදී මේ සම්බන්ධයෙන්ද රජය විසින් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් නීතිඥවරිය, මීගමුව ප්‍රදේශයේ මෙම සිද්ධියෙන් පීඩාවට පත් වූ ධීවරයින්ට මෙතෙක් වන්දි ලබාදීමේ කටයුතු නිසියාකාරව ඉටූ වී නොමැති බවට ඔවුන් විසින් තමා දැනුවත් කර තිබෙන බවත් සඳහන් කළා.
මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් හානි සිදුවන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරටත් එහි හානිය විහිදී ගොස් තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට වග උත්තරකරුවන් කටයුතු කළ යුතු බවත් නීතිඥ හිමාලි කුලරත්න වැඩිදුරටත් සඳහන් කළා.
පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල් තැබුණා.