ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.
ඒ අම්පාර බස් නැවතුම්පළේ බස් රථයක සිටියදී වන අතර, ඇය සමඟ සිටි සැකකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් ස්ථාන කිහිපයකදී මාරු වෙමින් ඇයව අම්පාර ප්‍රදේශයට රැගෙනවිත් තිබෙනවා.
එහිදී අද උදෑසන අදාල සැකකරු විසින් මෙම සිසුවියට ඇයව නිවෙස වෙත නැවත ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුම්පොලට පැමිණ නුවර බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවී ඇති අතර, එහිදී ඇයට නිහඬව සිටින ලෙසට තර්ජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේඑදා පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර තිබෙනවා.
මෙලෙස පැහැරගැනීමට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

