NEWS

ශබ්දයේ වේගය පරදන බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක පියාසැරියක

සුපර්සොනික් හෙවත් ශබ්දයේ වේගය පරදන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ තවත් පියවරකට ළං වෙමින් අමෙරිකාවේ බූම් සුපර්සොනික් ගුවන් යානය සාර්ථක අත්හදා බැලීමේ පියාසැරියක නිරත වී තිබෙනවා.

අඩි 35,000ක් උසින් ඉහළ අහසේදී පැයට කිලෝමීටර් 1,360ක වේගයක් ළඟා කරගනිමින් මෙලෙස පියාසර කර ඇත්තේ බූම් සුපර්සොනික් XB-1 යානයයි.

අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නුවර සිට වයඹ දිග ප්‍රදේශයේ පිහිටි මොහාවී කාන්තාර භූමියට ඉහළින් අඩි 35,000ක් උස අහසේ මෙම පර්යේෂණ ගුවන් ගමන් වාරය ක්‍රියාත්මක කර තිබෙනවා.

අමෙරිකාවේ BOOM SUPERSONIC XB-1 ගුවන් යානය මෙහිදි මාක් 1.1ක වේගයක් නැතහොත් පැයට කිලෝමීටර් 1,360ක පියාසර වේගයක් වාර්තා කර ගෙන තිබෙනවා.

එම වේගය සැලකෙන්නේ ශබ්දයේ වේගය ගමන් කරන වේගයට වඩා වැඩි වේගයක් ලෙසයි.

2003 වසරේදී අවසන් කොන්කොර්ඩ් ගුවන් යානය විශ්‍රාම ගැනීමෙන් පසුව දශක දෙකක කාලයක් පුරා සුපර්සොනික් වාණිජ ගුවන් යානා ක්‍රියාත්මක වීමක් සිදුවුයේ නැහැ.

කෙසේවෙතත් අධිවේගී ගුවන් ගමනක් වෙනුවෙන් නව අනුප්‍රාප්තිකයෙකු වීමට BOOM සමාගම සූදානමින් සිටිනවා.

බ්ලේක් ෂෝල් – ප්‍රධාන විධායක නිලධාරී – BOOM SUPERSONIC

(අද ලෝකයේ පවතින සම්ප්‍රාදයක් බිඳ දැමීමට කටයුතු කළා. ඉතින් අපි කොන්කෝඩ් නවතා දැමු තැනින් ඉදිරියට යනවා. අපි ගොඩබිමට ඉහළින් ශබ්දයේ වේගයෙන් ගමන් කරනවා. එය බොයිං සහ එයාර්බස් ගුවන් යානාවලට වඩා 20%ක වේගයක්. ඒ වගේම ජලයට ඉහළදී අප විසින් ත්‍රොට්ල් විවෘත කර ඊට වඩා දෙගුණයක වේගයක් ලබාගන්නවා.)

මේ වන විට BOOM සමාගම අධිවේගී ගුවන් යානා නිෂ්පාදනය වෙනුවෙන් උතුරු කැරොලිනා හී කර්මාන්ත ශාලාවක්ද ඉදිකර අවසන්.

එමෙන්ම නව BOOM SUPERSONIC ගුවන් යානා 130ක ඇණවුමක් වෙනුවෙන් අමෙරිකන් ගුවන් සේවය, යුනයිටඩ් ගුවන් සේවය සහ ජපාන ගුවන්සේවය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »