පාකිස්ථානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් ආපසු ඇෆ්ගනිස්තානය වෙත යොමු කිරීමට පාකිස්ථානය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
පාකිස්ථානයේ සිටින ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් රඳවා තබා ගැනීමේ කාලසීමාව ඉකුත් මාර්තු 31 දිනෙන් අවසන් වූ අතර පාකිස්ථාන රජය දැන් ඔවුන් ආපසු යැවීම ආරම්භ කර තිබෙනවා.
පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලාශ්‍රවලට අනුව, ඊද් උල් ෆිතර් නිවාඩු හේතුවෙන් ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති අතර එබැවින් එය අප්‍රේල් 1 වනදා ආරම්භ කළ නොහැකි වූ නමුත් බලධාරීන් දැන් රට පුරා ලේඛනගත නොකළ ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට එරෙහිව මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
පාකිස්ථාන මාධ්‍ය විසින් නිකුත් කරන දත්තවලට අනුව දැනට මිලියන 2.1ක ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ ඇෆ්ගන් සරණාගතයින් පාකිස්ථානයේ රැඳී සිටිනවා.
ප්‍රාන්ත සහ මායිම් ප්‍රදේශ අමාත්‍යාංශයේ මූලාශ්‍ර පවසන්නේ ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.4ක් නීත්‍යානුකූලව ලියාපදිංචි වී ඇති අතර ඇෆ්ගන් ජාතිකයින් 800,000ක් සතුව ‘ඇෆ්ගන් පුරවැසි කාඩ්පතක්’ ඇති නමුත් ඔවුන් රැඳී සිටීම දැන් නීති විරෝධී බවයි.
කෙසේ වෙතත්, රජය කියා සිටින්නේ පාකිස්ථානයේ සිටින මුළු ඇෆ්ගන් සරණාගතයින් සංඛ්‍යාව මිලියන තුනක් වන අතර, ඔවුන් සියල්ලන්ම නීතිවිරෝධී විදේශිකයින් පිටුවහල් කිරීමේ සැලැස්ම යටතේ මේ වසරේ ආපසු හරවා යැවීමට නියමිත බවයි.

