ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.
හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම එම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම “Anchor Jaffna Kings” ලෙස නම් කිරීමට නියමිතය.
පසුගිය ජූලි 23 වැනිදා පෙර හිමිකාරීත්වය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ කණ්ඩායම තාවකාලික පරිපාලනයට ගෙන තිබූ අතර, මෙම ගනුදෙනුවත් සමඟ එය නැවත ස්ථාවර හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.
Anchor Sports AB සමාගම මේ වනවිට බෙල්ජියමේ European T20 Premier League තරගාවලියේ Antwerp Anchors සහ කැනඩාවේ Super60 ලීගයේ Vancouver Anchors පිරිමි හා කාන්තා කණ්ඩායම්ද හිමිකරගෙන සිටින අතර, ජැෆ්නා කණ්ඩායමද එම ජාත්‍යන්තර ක්‍රීඩා ජාලයට එක්වනු ඇත.
ජැෆ්නා කණ්ඩායමේ පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කෙරිණි. එම සමාගමේ අනෙක් සම හිමිකරු මයංක් ගෝයල්ගේ ස්ථානයද මේ වනවිට අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

