පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදුකිරීමට නියමිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව සඳහන් කළේය.
එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය

