පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම නිමාවට පත් වූ තරග ද්විත්වයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව සමත් විය.
මෙම ජයග්‍රහණත් සමඟින් එම කණ්ඩායම් දෙකම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ (අවසන් 32) වටයට තම ස්ථාන වෙන්කරවා ගත්තේය.
අමෙරිකානු ක්‍රීඩාලෝලීන් කුල්මත් කළ ‘සුපිරි’ ජය
අමෙරිකාවේ සියැටල්හිදී පැවැති තරගයකින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සත්කාරක අමෙරිකාව සමත් විය.
මෙය අමෙරිකානු කණ්ඩායම මෙවර තරගාවලියේදී අඛණ්ඩව ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ.
තරගයේ වාර්තා වූ ගෝල දෙකම පළමු අර්ධය තුළදීම වාර්තා වීම විශේෂත්වයකි.
තරගයේ 11 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බර්ගස් අතින් සිදුවූ අත්වැරැද්දකින් ඇමෙරිකාවට පළමු ගෝලය (OG) හිමිවිය.
තරගයේ 43 වැනි මිනිත්තුවේදී ඇලෙක්ස් ෆ්‍රීමන් විසින් අමෙරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග අමෙරිකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානය දිනාගෙන ඇත.
පරාජය ලැබූ ඔස්ට්‍රේලියාව 25 වැනි ස්ථානයේ පසුවේ.

