ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් මේ වන විට අමෙරිකාවට, ඩොලර් බිලියන 37.5ක එසේත් නොමැති නම් පවුම් බිලියන 28ක පමණ වියදමක් දරා ඇති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්රකාශ කර තිබේ.
සෙනෙට් අයවැය කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම වියදම මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 67ක් ඇතුළුව සමස්තයෙන් ඩොලර් බිලියන 87ක අතිරේක මුදල් වෙන් කරන ලෙස ද ඔහු කොංග්රසයෙන් ඉල්ලීමක්ද කර ඇත.
මෙම මුදල් නොලැබුණහොත් හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමටත්, යුද උපකරණ හා ආයුධ සැපයුමට බාධා එල්ලවිය හැකි බවටද හෙග්සෙත් අනතුරු ඇඟවා තිබේ.
කෙසේ වෙතත්, ඩිමොක්රටික් පක්ෂයේ මන්ත්රීවරු මෙම අරමුදල් ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අතර, සෙනෙට් විභාගය අතරතුර යුද විරෝධී ක්රියාකාරීන්ද විරෝධතා දක්වා ඇත.
ඉරාකයේ සහ ජෝර්දානයේ මෙහෙයුම් අතරතුර අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම යුද්ධය සම්බන්ධයෙන් දේශපාලනික පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඉරානය ඉලක්ක කර අමෙරිකාව විසින් ප්රහාර තීව්ර කර තිබේ.

