NEWS

රතු එළියත් දල්වාගෙන ප්‍රයිවට් බස් හිමියෝ පොලිස්පති හමුවට

බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ වනතුරු පෞද්ගලික බස් හිමියන් ලබන සතියේ සිදු කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ඊයෙත් නගර රැසකම ක්‍රියාත්මක වුණා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීමද සිදු වනවා.

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් සිදුවිය යුත්තේ රථ වාහනවල අමතර කොටස් ඉවත් කිරීම නොවන බව ත්‍රීරෝද රථ රියදුරන් පෙන්වා දුන්නා.

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව රිය අනතුරු හා රථවාහන තදබදය අඩු කර ගැනීම සදහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවෙන අතර ඊයේ ඇරඹි එම මෙහෙයුම් ලබන 19 වනදා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බවයි. රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන් හට උපදෙස් දෙනු ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.

ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා. එහිදිී රථවාහනවල අමතර කොටස් සවි කර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස්රථවලට උපාය දූතයන් යොදවා තොරතුරු ලබා ගෙන සිදු කරන වැරදිවලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කතානායක ජගත් වික්‍රමරත්න ඊයේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් ඊයේ බැහැ දුටු අවස්ථාවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කර තිබුණා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය ද ඊයේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »