පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.
ප්‍රේක්ෂකයින් 73,000කට අධික පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අමෙරිකාවේ මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ආරම්භයේදීම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන කොංගෝ කණ්ඩායමෙන් එංගලන්තයට එල්ල වූයේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි.
ඒ අනුව තරගයේ 7 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ බ්‍රියන් සිපෙන්ගා, කොංගෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමමිනි.
තරගයේ 75 වැනි මිනිත්තුව දක්වාම පෙරමුණ ගනිමින් එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොංගෝ ක්‍රීඩකයින් සමත් වුවද, 75 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක හැරී කේන් කොංගෝ ආරක්ෂක වළල්ල බිඳ දමමින් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කර තරගය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

