ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයකින් මෙවර තරගාවලියේ සම-සංවිධායකයින් වූ කැනඩාව පරදා ගෝල 2-1 ක ජයක් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ “B” කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් වූ අතර, පරාජයට පත්වුවද කැනඩා කණ්ඩායම ද දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීය.
වැන්කුවර් නුවර පැවැති මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට දැඩි සටනක් දීමට සිදුවූ අතර, එහිදී ස්විට්සර්ලන්ත නායක ග්‍රැනිත් ෂාකා සිය 149 වැනි ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් කැපී පෙනුණි.
කැනඩා කණ්ඩායම පසුගිය සතියේ කටාර් රාජ්‍යයට එරෙහිව ගෝල 6ක් රැස් කරමින් දක්ෂතා දැක්වුවද, මෙම තරගයේ පළමු අර්ධය තුළ ස්විට්සර්ලන්ත ආරක්ෂක පෙළ හමුවේ අසරණ විය.
කෙසේ වෙතත්, දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තුවක් යෑමටත් මත්තෙන් තරගය උණුසුම් කරමින් ස්විට්සර්ලන්තයේ රූබන් වර්ගාස් පළමු ගෝලය වාර්තා කළේය. ඉන් මිනිත්තු 11කට පසු, එනම් තරගයේ 57 වැනි මිනිත්තුවේදී ජොහෑන් මන්සැම්බි ස්විට්සර්ලන්තය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිර කළේය.

