මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට පෙත්සන්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න විරුද්ධ වුණා.
ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඒ අනුව, නොවැම්බර් මස 29 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියෝග කළ අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 9 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

