පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ යතුරුපැදි එකලස් කිරීමේ ස්ථානයක් වටලා එහි සොරාගත් බවට සැකකෙරෙන යතුරුපැදි කිහිපයක් සහ තවත් එකලස් කිරීමේ උපාංග රැසක්ද සොයා ගැනීමට පුත්තලම මූලස්ථාන පොලිසිය ඊයේ (12) සමත්ව තිබෙනවා.
මෙම මහා පරිමාණ එකලස් කිරීමේ ස්ථානය සොයා ගැනීමට හැකිව ඇත්තේ, පසුගිය 10 වැනිදා පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ, වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ෆල්සර් වර්ගයේ යතුරුපැදියක් සොරාගෙන ඇති අතර, එහි හිමිකරු විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙම ස්ථානය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව එකී යතුරුපැදිය සොරා ගත් බව පැවසෙන සැකකරු යතුරුපැදිය සොරා ගෙන යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර, ඒ අනුව පළමුව යතුරුපැදිය සොරාගත් සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
අනනතුරුව ඔහුගෙන් කල දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ අදාල යතුරුපැදිය තමන් විසින් සොරා ගෙන ගොස් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ නිෂ්පාදනය කරන ලද වඩුමඩුවක තබා ඇති බවයි.
ඒ අනුව එම ස්ථානය නිරික්ෂණය කිරීමට ගිය පොලිස් නිලධාරින්ට දැකගැනීමට හැකිව ඇත්තේ යතුරුපැදි විශාල ප්‍රමාණයක අමතර කොටස් එහි තැනින් තැන දමා තිබෙන අයුරුයි.
එහිදී සිදුකළ සෝදිසියකදී අනාවරණය වී ඇත්තේ මෙලෙස කොටස් කර ඇත්තේ ස්ථාන කිහිපයකදී සොරාගත් බවට සැකකරන යතුරුපැදි කිහිපයක් බවයි.
එහි තිබූ එක්ලස් කර ඇති යතුරුපැදි කිහිපයක්ද, ව්‍යාජ අංක තහඩු කිහිපයක්ද පොලිසිය විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

