නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත, පාසල් මාවතේදී සහ ලෑන්ඩ්රෝවර් ජීප් රථ 2ක් රත්මලාන දුම්රිපොළ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ සොයා ගනු ලැබුවා.
පොලිසිය සදහන් කළේ, රුපියල් කෝටි 7ක් පමණ වටිනා මෙම ජීප් රථ 3, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහනවල අංක යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවයි.
මෙම වාහන අයත් බවට පැවසෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැරි බවත්, එම වාහන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අයත්ව තිබී 2011 වසරේදී පොලිස් භාරයට ගෙන මතුගම අධිකරණයේ විභාගවන නඩුවකට අදාළ නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථය අලෙවි කර ඇත්තේ ද මොහු විසින් බවයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර සැකසහිත චැසි කොටස් කපා බද්ධ කරන ලද බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරු ලැබී ඇති වාහන 400කින් 259 කට අදාළ විමර්ශන ගොනු එම ඒකකයට භාර දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ කළා.
එමෙන්ම, චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කරමින් නීතිවිරෝධීව එකලස් කළ වාහන අලෙවි කිරීමේ ජාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් හෙළිකරගෙන තිබෙනවා.
එහි ප්‍රධාන සැකකරු මාතලේ, පලාපත්වලදී අත්අඩංගුවට ගැණුනේ, නීතිවිරෝධීව එකලස් කළ රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු ජීප් රථ ඇතුළු වාහන 8ක් ද සමඟින්.
නීතිවිරෝධීව එකලස් කළ වාහන අලෙවි කිරීමේ ජාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මාතලේ, කෝන්ගහමුල ප්‍රදේශයේදී අනාවරණ කරගත්තා.
එහිදී නිවසක ගෙවත්තේ ගාල්කර තිබූ වාහන විශාල සංඛ්‍යාවක් සොයාගත් අතර, ඉන් කෝටි 05ක් පමණ වටිනා ජීප් රථ ඇතුළු වාහන 08ක් සම්බන්ධව කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට නිවෙස් හිමිකරු අපොහොත් වී තිබෙනවා.
මෙම සැකකරු චැසි සහ එන්ජින් අංක වෙනස් කර පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති ජීප් රථයක් ද දෙපානම නිවසක තිබී පොලිස් භාරයට ගැණුනා.
මෙම සැකකරු සමග ජාලයක් ක්‍රියාත්මක වන බවත්, මූල්‍ය ආයතන සේවකයෙක් එම ජාලය සමග එක්ව අදාළ නීතිවිරෝධී වාහන ගැනුම්කරුවන්ට මූල්‍ය පහසුකම් සළසා ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

