NEWS

OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක ඉංජිනේරුවරයා මාර්තු 07 දක්වා රිමාන්ඩ්

OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීම මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

මේ තුළින් ඔහු විශාල මුදලක් අත්පත් කරගෙන තිබෙන බවත් පොලිසිය පැවසුවා.

එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සැකකරු මේ තුළින් කිසිදු ප්‍රතිලාභයක් උපයාගෙන නොමැති බවයි.

ඔහුගේ ජීවිතයට එල්ල වී තිබූ තර්ජන නිසා ඔහු මෙරටට නොපැමිණි බව සඳහන් කළ නීතිඥවරයා විමර්ශනවලට සහය දීමට සැකකරු සූදානම් බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »